ආර්ථික නිදහස සහ ආර්ථික නිදහසේ දර්ශකය

සරලව කියනවා නම් ආර්ථික නිදහස යනු රජයේ හෝ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ගේ පාලනයෙන් තොරව නිදහසේ පුද්ගලයින්ට හෝ පවුල් වලට ආර්ථික තීරණ ගැනීමට තිබෙන හැකියාවයි. ආර්ථික නිදහසේ දර්ශකය මගින් මෙය විචල්‍යයන් 42 ක් භාවිතා කරමින් ගණනය කරන අතර මෙය බින්දුවේ (නරකම ප්‍රතිපත්තිය) සිට 10 (හොඳම ප්‍රතිපත්තිය) දක්වා වර්ගීකරණය කළ පරාසයක් තුළ විහිදේ.  

ලෝකයේ ප්‍රමුඛතම සමීක්ෂණ ජර්නලයන්හි සඳහන්ව ඇත්තේ ආර්ථික නිදහස හේතුවෙන් ඉහළ ආර්ථික වර්ධනය,  දේශපාලන ස්ථාවරත්වය සහ අනිකුත් නිදහස් තත්ත්වයන් හි වර්ධනය ඇතුළු ඉහළ සමාජ සහ ආර්ථික ප්‍රතිඵලයන් ලැබෙන බවයි. (වැඩි තොරතුරු සඳහා ඇමුණුම බලන්න)

ආර්ථික නිදහස මගින් යහපත වර්ධනය වන ආකාරය ඉතාමත් පහසුවෙන් ඕනෑම අයෙකුට දැකගත හැකිය. සියළුම පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ ලැබීම සඳහා ඕනෑම ගනුදෙනුවක් සඳහා නිදහසේ එකඟවිය යුතු අතර සියළු පාර්ශවකරුවන් සඳහා ප්‍රතිලාභ නොලැබෙන ඕනෑම ගනුදෙනුවකින් අගතියට පත්වන පාර්ශවය ඉවත්වීමට ඉඩකඩ තිබේ. මෙවැනි තත්ත්වයන් සමස්ත ආර්ථිකයටම බලපානු ඇත.

නිදහසේ තීරණ ගන්නා පාරිභෝගිකයින් යම් භාණ්ඩයකට හෝ සේවාවකට ආකර්ශනය වන්නේ ඉහළම ගුණාත්මක භාවය සහ මිල යන කරුණු පදනම් කරගෙන පමණි. මෙවැනි වෙළඳපොළකට අළුතින් ඇතුළුවන නිෂ්පාදකයින් සහ විකුණුම්කරුවන්ද ඇතුළත්ව ඔවුන් සිය නිෂ්පාදනවල මිල සහ ගුණාත්මක භාවය පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවට සරිලන පරිදි තරගකාරී මට්ටමකට දියුණු කරන අතර මේ තුළින් සියලු දෙනාමට ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙවැනි වෙළඳ පොළක එකෙනෙකාට ප්‍රතිලාභ ලැබෙන බිලියන ගණනක ගනුදෙනු දිනපතා සිදුවන අතර ආර්ථික නිදහසක් තිබෙන වෙළඳපොළක බලය සහ ශක්තිය වන්නේ එයයි. මෙවැනි නිදහස් පරිසරයක් තුළ ඵලදායිතාවය සහ ධනය වැඩිවන අතර අළුත් රැකියා අවස්ථා උදාවෙමින් දුප්පත්කම අඩුවනු ඇත.     

මේ ආකාරයේ නිදහස සීමාකිරීම මගින් සිදුවන්නේ එකිනෙකාට ප්‍රතිලාභ ලැබෙන ගනුදෙනු වලින් ජනතාව ඉවත් කිරීමයි. මෙවැනි නිදහස් ගනුදෙනු රජයේ මැදිහත්වීම හෝ රජයට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයින් විසින් පාලනය කරන විවෘත නොවූ සංවෘත වෙළඳපොළවල් මගින් සීමාකරනු ඇත. වර්ධනයට බාධාවන අයුරින් බදු පැනවීම සහ පාරිභෝගිකයින්ට තෝරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන පරිදි භාණ්ඩ හා සේවා සඳහා සීමා කිරීම මෙවැනි විවෘත නොවූ ආර්ථික නිදහසින් තොර වෙළඳපොළවල සිදුවේ. මෙවැනි තත්ත්වයක් තුළදී ඉල්ලා සිටින ඕනෑම බදු ප්‍රමාණයක් ජනතාවට ගෙවීමට සිදුවන අතර මිලදීගැනීමට සිදුවන්නේ ගජ මිතුරු ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කරන සීමා සහිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් එහි නියම මිලටත් වැඩි මිලක් ගෙවමිනි.  

යම් තරගකාරී වෙළඳ පොළකදී  ඇතැම් නිෂ්පාදකයින් සඳහා යම් සහනාධාර දිරියක් ලබාදෙනවා නම් පාරිභෝගිකයින්, රාජ්‍ය අංශය ඇතුළු අංශ වලට එවැනි දිරියක් නොලැබෙන නිසා සුපිරි භාණ්ඩ හා සේවා බිහිවීමට එයින් සහයෝගයක් හිමිවේ. මේ අනුව, සහනාධාර වලින් බොහෝවිට සිදුවන්නේ තරගකාරී වෙළඳපොළ තුළ රැදී සිටින්නන් පසෙකලා තෝරාගත් හිතවත් කණ්ඩායම් වෙත ප්‍රතිලාභ ලබාදීමයි. මේ තුළින් දේශපාලන වාසි ලබාගැනීම හෝ තමන් අකමැති කණ්ඩායම් වෙත පීඩනය එල්ල කිරීම ඉලක්ක කර තිබේ. මෙය ආර්ථික නිදහස නැතිකර දමන අතර එකිනෙකාට ප්‍රතිලාභ හිමිවන තරගකාරී සාධාරණ ගනුදෙනු සඳහා මෙවැනි ක්‍රමයක් පැවතීම බාධාවකි.    

රජයන් හෝ ගජ මිතුරු ව්‍යාපාරිකයින් යටතේ පවතින රජයන් ආර්ථිකයන් පාලනය කරන විට ආර්ථික වර්ධනය සීමාවන අතර සමහර අවස්ථාවල ආර්ථිකය සුළුවෙන් හෝ වර්ධනය නොවේ. මෙහිදී, ධනය සහ වරප්‍රසාද සඳහා තනි තනි පුද්ගලයින් සහ කණ්ඩායම් අතර නිරන්තරයෙන් ගැටුම් හටගනී. මෙවැනි පරිසරයක් තුළදී ජනතාව සම්බන්ධතා වර්ධනය කර ගනිමින් අනුන්ගේ අවස්ථා උදුරා ගනිමින් තමන්ට ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරනු ඇත. මෙවැනි අවස්ථාවල තනි තනි පුද්ගලයින් ප්‍රතිලාභ ලබනවා වෙනුවට ආර්ථික, ජනවර්ග, දේශපාලන සහ ආගමික කණ්ඩායම් ලෙස ප්‍රතිලාභ ලබනු ඇත. මෙම කණ්ඩායම් එකිනෙකාට වෛරී ලෙස කටයුතු කිරීම නිසා බලාපොරොත්තු ඉටුවීමට වඩා සිදුවන්නේ බලාපොරොත්තු බිඳී යාමයි. ආර්ථික නිදහස නොමැතිවිට බලය තිබෙන කණ්ඩායම් විසින් සීමිත සම්පත් වලින් වැඩිම කොටස භුක්ති විඳින අතර බහුතරයක් මහජනතාවට හිමිවන්නේ සම්පත් වලින් සීමිත ප්‍රමාණයකි.    

සමාජයක ආර්ථික නිදහසක් පවතින විට තරගකාරීත්වය තුළින් සමාජයට ජීවයක් ලැබේ. ජනතාව නිදහසේ ආර්ථික තීරණ ගන්නා විට ඔවුන් තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අතර ඒවා තරගකාරී ලෙස නිදහසේ හුවමාරු කරගනී. මේ තුළින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නැවුම් නිෂ්පාදන තරගකාරී මිලකට නිර්මාණය වන අතර ඵලදායීතාවයද ඉහළ යාමෙන් සමාජයේ ආර්ථික සමෘද්ධිය වර්ධනය වීමට මෙය හේතුවනු ඇත. මේ තුළින් එම නිෂ්පාදන ක්‍රියාවලියට හවුල්වන පාර්ශවයන්ට කිසිදු බලපෑමකින් තොරව ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදීයාම සිදුවේ.

ආර්ථික නිදහසක් ඇති සමාජයක වැඩිම ප්‍රතිලාභ ලබන්නේ ආර්ථික වර්ධනය ඇති කිරීමට හවුල්වන බහුතරයක් සාමාන්‍ය මහජනතාවයි. මේ නිසා, ආර්ථික නිදහසක් ඇති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය සහ අනිකුත් නිදහස් වාතාවරණයන් වර්ධනය වේ. මේ තුළින් සිදුවන්නේ සමාජය තව තවත් ධනාත්මකව ඉදිරියට ගමන් කිරීමයි.   

ආර්ථික නිදහසක් තිබෙන සමාජයක වංචාව සහ දූෂණයට තිබෙන ඉඩකඩ සීමිත වන අතර ආර්ථික නිදහස අඩු සමාජයක වංචාව සහ දූෂණය වඩාත් වර්ධනය වනු ඇත. යමක් කිරීමට ඔබට යමෙකුගෙන් අවසර ඉල්ලා සිටීමට සිදුවුවහොත් ඔහු ඔබෙන් ඒ සඳහා මුදලක් ඉල්ලා සිටීමට පුළුවන. ආර්ථික නිදහස පවතින විට යමක් කිරීමට ඔබට යමෙකුගෙන් අවසර ලබාගැනීමට සිදු නොවන අතර එවිට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට ඔබට සිදු නොවේ.